සමාජවාදයේ පියා නමින් කැපවුණු තැනක මංගල සටන ආරම්භ කැරිණි. ඒ සටනට ආපු අයට වරදානද ලැබුණාලු. බලය නැති කාලෙත් මේ වරදාන ලැබෙනවාලු. ගෑණුන්ට කුඩයක් හා පිරිමින්ට සැර ජාතියක් ලැබුණාලු. ගැහැණුන්ට අව් රශ්මිය දරා ගැනීමට නොහැකි නිසා කුඩයක් ලබාදුන් අතර පිරිමි අයට රස්නය උපදවන සැර ජාතියක් ලබාදුන්නාලු.
මේවා ලබාදුන්නේ සංවිධායකයෝ කොළොම්පුරයට ගෙනා අයටලු. රක්ත හා නීල වර්ණ හිස් වැසුම්ද ලැබිණි. බත් පාර්සලයක් ද ඔවුනට ලැබිණි. හවස 4ට පමණ ඇනවුම් කළ බත් පාර්සලය සවස 7.30ට පමණ ඇස්වාට්ටුව ප්‍රදේශයේ තණබිස්සේ වාඩිවී ආහාරයට ගන්නා අයුරු දැකිය හැකි විය.
ඔවුන්ට එය විනෝද ජනක අවස්ථාවක් විය. ප්‍රවාහනය නොමිලේය. ආහාර පාන නොමිලේය. තෑගි බෝගත් හිමිවිය.
ඔවුන් දැන සිටියේ තමන් කොළොම්පුරයට ආ බව පමණක්ලු. බර වචන යොදා රැලිය ඇමතූ බොහෝ දෙනාගේ නම් පවා ඔවුන් දැන සිටියේ නැතිලු. ඒවා තේරුණේද නැතිලු. නැවත ගම රට යනවිට මහ රෑ 12ත් පහුවෙලාලු. සමහර අය දෙපයින් ද ඇතැම් අය හතර ගාතෙන් ද ගියාලු.

